අස්වැසුම අභියාචනා සඳහා ජූලි 10 සඳහා ඉඩ ලැබේ

ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරණ උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.

කෙසේ වෙතත් අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට වහාම කටයුතු කරන බවත්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමඟ ඉදිරි සතියේ දී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් රජය දැනුම් දෙයි.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728 ක් යොදවනු ලැබීය. සංවර්ධන නිලධාරීන් 3190, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494, ග්‍රාම නිලධාරීන් 205, වෙනත් නිලධාරීන් 1127 සහ තාවකාලිකව බඳවා ගත් 1712 දෙනකු ඊට ඇතුළත් විය.

ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු වෙයි.

කෙසේ වෙතත් එම ක්‍රියාවලියේ දී අඩු පාඩු සිදුව ඇති බවට ඇතැම් පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමග අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙලට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී ආසාධාරණයට ලක්වුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය ජූලි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (25) නිවේදනය කරනු ලැබීය.

ආර්ථික සවියක් අත්‍යාවශ්‍ය පුද්ගලයෙකුට හෝ පවුලකට මෙම ප්‍රතිලාභය අහිමි වී තිබේ නම් අදාළ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් විමසීම් සිදු කර එය නිවැරදි කර ගැනීමේ අවස්ථාව පවති.

අස්වැසුම වැඩසටහනේ මූලික අවශ්‍යතාව වන්නේ ආර්ථික සවියක් අවැසිම පුද්ගලයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දීම මිස හුදු දේශපාලන ක්‍රියාවලියකට නතුව, විවිධ පක්ෂවල අවශ්‍යතාවයන් සපුරාලීම නොවන බවත්, ඒ පිළිබඳ ගෙන යන පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් රජය අවධාරණය කරයි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *