අම්මාට අමාරුයි….බේරාගන්න හනික එන්න….

පෘථිවිය ස්වභාවික සම්පත්වලින් පිරිපුන් බව නොරහසකි. එනමුත් කනගාටුවට කරුණ නම් ස්වභාවික සම්පත් හේතු කොට ගෙන විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට ඔබ මෙන්ම මා ද ඇතුළත් මානව සංහතිය පෙරමුණ ගෙන තිබීමයි.

ස්වභාවික සම්පත් තිරසර ලෙස පරිභෝජනය එනම් අප අවට ඇති ස්වභාවික සම්පත් විනාශ නොකොට ඉදිරි පරම්පරාවන්ටද භාවිතා කළ හැකි ලෙස ඉතිරි කරමින් පරිභෝජනය කිරීමට වගකීමක් අපට ඇත. එහෙත් එය වර්තමානය වන විට ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවාද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි. මන්දයත් එයට හේතුව ගෝලීය උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යාමත් එහි ප්‍රතිඵල වශයෙන් දේශගුණික විපර්යාස නොනැවතී සීඝ්‍රයෙන් වැඩි වීමත් මේ වන විට අප අත්දකිමින් සිටීමයි.

මිනිසාට නිපදවිය නොහැකි පෘථිවියෙන් ස්වභාවිකව හටගන්නා මිනිසාට භාවිතයට ගත හැකි ඕනෑම ද්‍රව්‍යක් ස්වභාවික සම්පතක් ලෙස සරළව දැක්විය හැක. වාතය, ජලය, දැව, සූර්ය තාපය, ඛණිජ ද්‍රව්‍ය මීට නිදසුන් කිහිපයකි. මෙකී ස්වභාවික සම්පත් ප්‍රධාන ආකාර දෙකකට බෙදා වෙන් කළ හැකිය. ඒවා නම් යථා තත්ත්වයට පත්විය හැකි සම්පත් නැතිනම් භාවිතයෙන් පසු නැවත පෙර තත්වයට පත්වන (සූර්ය තාපය, ජලය, උදම් රළ) සහ යථා තත්ත්වයට පත් නොවන හෝ දීර්ඝ කාලයකින් පසුව නැවත යථා තත්වයට පත්විය හැකි සම්පත් (ඛනිජ තෙල්, ස්වභාවික වායු, ගල් අඟුරු ආදිය) ලෙස දැක්විය හැකිය.

මේ අනුව තිරසාර පරිභෝජකයන් ලෙස යථා තත්ත්වයට පත් විය හැකි ස්වභාවික සම්පත් භාවිතා කළ යුතු වන අතර යථා තත්ත්වයට පත් නොවන ස්වභාවික සම්පත් භාවිතය හැකිතාක් අවම කළ යුතුවේ. එනමුත් කණගාටුවට කරුණ නම් මේ පිළිබඳ විශේෂඥයින් සිදු කරනු ලැබූ පර්යේෂණවලට අනුව මිනිසා අතින් එසේ සිදුවී නොමැති බව සනාථ කරවීමයි.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ The Inter-governmental panel on climate change (IPCC) යනු ලෝකයේ රාජයන් වෙනුවෙන් දේශගුණික විපර්යාස නිරීක්ෂණය කරන ජාත්‍යන්තර ආයතනය වන අතර එය දැනට එහි හයවන ගෝලීය තක්සේරු වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම වාර්තාවට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 (ෆැරන්හයිට් 2.7) දක්වා සීමා කර තබා ගැනීමට අප අසමත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ලැව් ගිනි නියඟ කුණාටු ආදී තවත් බොහෝ තත්ත්වයන්ට දොරටු විවර වීම දැකගත හැකිය. සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන විට උපද්‍රව අනිවාර්යයෙන්ම වැඩි වන අතර ස්වභාවික විපත් ඇතුළුව ආන්තික දේශගුණික සිදුවීම් හේතුවෙන් ජීවනෝපායන්ටද බලපෑම් එල්ල වීම දැකගත හැක. ඍතු වෙනස් වීම හේතුවෙන් කෘෂිකර්ම කටයුතුවලට බාධා වීම් මෙහි මූලිකම උදාහරණයකි.

කනගාටුදායකම තත්ත්වය වන්නේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ආන්තික ප්‍රජාවන් සඳහා ආහාර මෙන්ම ජල සුරක්ෂිතතාවය පිරිහීම සිදුවීමයි. එපමණක් නොව ආහාර විවිධත්වය අඩුවීමෙන් මන්දපෝෂණය ඇතිවීම, විශේෂයෙන්ම ආධිවාසීන්, කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින් සහ අඩු ආදායම්ලාභී පවුල් අතර විශේෂයෙන්ම ළමුන් වැඩිහිටි පුද්ගලයින් සහ ගර්භනී කාන්තාවන් අවධානමට ලක්වීමේ ඉඩකඩ වැඩි වී ඇත.

ඉදිරි වසර වලදී දැනට ඉහළ යන හරිතාගාර වායු විමෝචන මට්ටම මෙන් දෙගුණයෙක උණුසුම් වීමක් ඇති කිරීමට ඉඩ ඇති අතර 2100 වන විට එය ආසන්න වශයෙන් 3.2°C (5.7°F) පමණ විය හැකි බව ගණනය කර ඇත.

මෙම වාර්තාවන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට උෂ්ණත්වය 1.5°C ක් දක්වා සීමා කිරීමේ බලාපොරොත්තුව ඉටුවීමට නම් වසර 2050 වන විට ගල් අඟුරු භාවිතය ලොව පුරා 60% කින් සහ 45% කින් අඩු කළ යුතුය. තවත් ලෙස සම්පත් තිරසාර ලෙස භාවිතය සිදු කළ යුතුවේ.

දේශගුණික විපර්යාසවලට අප සිතනවාට වඩා විශාල හානියක් සිදු කළ හැකිය. අපට ඉතිරිව ඇත්තේ තවත් සුළු කාලයකි. එහෙයින් අප කළ යුත්තේ කුමක්ද යන්න පුන පුනා කිව යුතු නොවේ. ඉතිරිව ඇත්තේ ප්‍රමාද වීමට පෙර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමයි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!