රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ගැන කෘෂිකර්ම ඇමති කියන කතාව

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට එකඟත්වය පළ වුණත් මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවයි.

මෙම සාකච්ඡාවට පශු වෛද්‍යවරුන්ගේ සංගමය, සත්ත්ව සංවර්ධන උපදේශකවරුන්ගේ සංගමය හා පශු සංවර්ධන අංශයේ කම්කරුවන් නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගි වී සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!