එළුවන් ව්‍යාපෘතියෙන් කෝටි 9ක් වතුරේ

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එළුවන් බෝ කිරීමේ ව්‍යාපෘතියකට පසුගිය වසරේදී රුපියල් නව කෝටියකට වැඩි වියදමක් දරා ඇතත් ඉන් උපයාගෙන  ඇත්තේ ලක්ෂ විසි තුනක ආදායමක් පමණක් බව ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අනුව එම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ ඉටුවී නොතිබූ බවද එහි දැක්වේ.

එළුවන් 250 දෙනෙකු  ක්ෂේත්‍ර ගත කිරීමේ අරමුණින් ඉඹුල්දණ්ඩ එලු අභිජනන මධ්‍යස්ථානයේ බෝයර් වර්ගයේ එළු අභිජනන  ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණ.

ව්‍යාපෘතියේ  සැලසුම් කළ අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළ යුතු බව විගණන අංශ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට  නිර්දේශ කර ඇත.

මේ අතර කරදගොල්ල සත්ව පාලන විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලා හැර ගිය සිසුන්ගේ ප්‍රතිශතය සියයට 27 ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබූ අතර පාඨමාලාව හැර යන සිසුන් වෙනුවෙන් දරන ලද වියදම අපතේ ගොස්  තිබූ බව වාර්තාවේ සඳහන්වේ

මේ තොරතුරු සඳහන් වන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය