දේවගැති ජෙරම්ට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි පැවසෙන දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 22 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) කැඳවනු ලැබුවේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.

එහිදී පෙත්සංකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පෙත්සම ඉදිරිපත් කළ සර්ව ආගමික නායකයින් අතරින් තුන්දෙනෙකු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවට දැනුම් දී ඇති බවයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මීට පෙර අධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනවල සියලු වාර්තා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මීට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ සලකා බලා ඇති නිසා එය අගවිනිසුරුවරයාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීම සුදුසු බව නිගමනය කළා.

ඒ අනුව අදාළ පෙත්සම ජූලි මස 22 වන දා යළි කැඳවන ලෙස නියෝග කෙරුණා.