ජනපති සමාජ සබඳතා සහ සාමුහිකත්වය ගැන සිහි කරයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ සියල්ලන් අලුත් වන්නේ සබඳතාවය සහ සාමුහිකත්වය කේන්ද්‍ර කරගනිමින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ අලුත් අවුරුද්දේ අලුත්වීමට මතු නොව රටක් වශයෙන් නිවැරදි මගක යන්නට අවශ්‍ය මූලික සාධයක වනුයේ සමාජ සබඳතාවන සහ සාමුහිකත්වය බවයි

ජනාධිපතිවරයාගේ සුබ පැතුම මෙසේයි.

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වෙති.

මේ හැම අලුත්වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වෙයි. ඒ සමාජ සබඳතාවය සහ සාමුහිකත්වය යි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමුහිකත්වය කේන්ද්‍ර කොටගෙනය. ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය.

අලුත් අවුරුද්ද අපට පෙන්වා දෙන මේ වැදගත් කරුණ පිළිබඳව මේ අවස්ථාවේ අවධාරණය කිරීම වඩාත් සුදුසු යැයි සිතමි.

අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමුහිකත්වය යි.

ඒ වගත් සිහිපත් කරමින් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රටතුළ බිහි වී නැවතත් මාතෘ භූමියට සෞභාග්‍ය උදාවනු ඇති බවට තමා විශ්වාස කරන බව විපක්ෂ නායකවරයා පවසයි.

රට තුළ පවතින නව සාමාන්‍යකරණය අවසන් කර පෙර පැවති ජීවන තත්ත්වයට රට ගෙනයාමේ දැවැන්ත අභියෝගයක් අප සතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!