කැවිලි මේසයේ වියදම දෙගුණයකටත් වඩා වැඩිවෙලා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසනවා.

කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් 2.2 ක ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම පසුගිය වසරට (2023) වඩා සියයට 2 කින් පමණ සුළු පහත වැටී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසනවා.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවත්වාගෙන යන PublicFinance.lk ප්‍රචාරය කළ අවුරුදු රසකැබිලි මේසයට දැරිය යුතු වියදම පිළිබඳව අධ්‍යනයකින් මෙම තොරතුරු හෙළි වූ බවත් පසුගිය වසරේ (2023) රසකැවිලි සෑදීමට ගන්නා අඩුමකුඩුමවල මිල 2019 වසරට සාපේක්‍ෂව 2.3 කින් ඉහළ මට්ටමක පැවතුණ ද මෙම වසරේ එහි සුළු අඩුවීමක් ඇති බවත් එම ආයතනය සඳහන් කළා.

මෙම විශ්ලේෂණයේදී පුද්ගලයන් 4 ක් හෝ 5 කින් යුත් නිවසක් සැළකිල්ලට ගනිමින් ආහාර සම්බන්ධ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක ආහාර වට්ටෝරුව පදනම් කරගත් බවත් රසකැවිලි නිෂ්පාදනයට වැයවන විදුලිය සහ ගෑස් මෙහිදී සැළකිල්ලට ගෙන නොමැති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරනවා.

මෙම සමීක්‍ෂණය සඳහා 2019, 2023 සහ 2024 වන වසරවල අප්‍රේල් මස පළමු සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සාමාන්‍ය මිල සහ සෘජුවම ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත් මිල බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!