නියමුවන්ට උඩු ගුවනේ දී නින්ද යයි

අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුර දී, එම ගුවන් යානය පදවමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

ඉන්දුනීසියාවේ ජනප්‍රිය ගුවන් සේවයක් ලෙස සැලකෙන ‘බතික් එයාර්’ ගුවන් සේවයට අයත්, එයාර් බස් ‘ඒ 320’ වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනකුටයි මේ ආකාරයෙන්න් උඩු ගුවනේ දී නින්ද ගොස් තිබුණේ.

එම අවස්ථාවේදී යානය, ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ගුවන්තොටුපොළේ සිට ජාකර්තා අගනුවර ගුවන්තොටුපොළට තෙක් පියසර කරමින් තිබුණු අතර නියමුවන් දෙදෙනා ද සමඟ යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනකු සිට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

නියමුවන්ට නින්ද යෑමෙන් යානය, සුළු වේලාවකට, නියමිත ගමන් මාර්ගය මඟ හැර වෙනත් දිසාවකට පියාසර කර ඇති අතර, නියමු පාලන කුටියේ අනතුරු නළා නාද වීමත් සමඟ වහා අවදි වූ නියමුවෝ, යානය නියමිත දිශාවට පියාසර කරවීමටත්, ඉන්පසු එය ජාකර්තා ගුවන්තොටුපොළට ගොඩබෑමටත් සමත් වී තිබෙනවා.

පසුගිය ජනවාරියේ සිදුවුණු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වුණු අතර, ඉන්දුනීසියා මාධ්‍ය ​මෙම සිද්ධිය පිළිබඳ අනාවරණය කළේ එම විමර්ශන අවසන් වීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයක්.

විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ, 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන් ගත වීමෙන් පැය භාගයකට පමණ පසු, සහායක නියමුවාට දන්වා ඇත්තේ තමන්ට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය ගන්නා බාර ගන්නා ලෙසයි.

සහාය නියමුවා ඊට එකඟ වී ඇති නමුත් පසුව ඔහුට ද නින්ද ගොස් තිබුණා.

තම බිරිඳ, මාසයකට පමණ පෙර නිවුන් දරුවන් බිහි කළ බවත්, දරුවන් බලා ගැනීමට බිරිඳට සහාය පළ කළ බැවින් පසු දා තමන්ට හරිහැටි නින්දක් නොලැබුණු බවත්, තමන්ට නින්ද ගියේ ඒ නිසා බවත්, විමර්ශනයේ දී ප්‍රධාන නියමුවා නිදහසට කරුණු දක්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුව ද ‘බතික් එයාර්’ ගුවන් සේවය නියමුවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!