හිටපු සෞඛ්‍ය ඇමතිගේ පෙත්සමට අද අධිකරණය දුන් නියෝගය

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා සිටියා.

ඔහු විසින් ඉදිරිපත් කළ එම රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සහ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

මෙහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ තම සේවා දායකයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

එසේ තිබියදී පෙත්සම්කරු දිගින් දිගටම පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

පොදු දේපළ පනත යටතේ යම් සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාව ලැබෙන්නේ නඩු විභාගය ආරම්භ වීමෙන් පසුව මහාධිකරණයට පමණක් බවත් මෙම නඩුකරයට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය තම සේවා දායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම මේ මස 10 වනදා තෙක් කල් තබනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!