මාලිමාවේ විශ්‍රාමික පොලිස් සමුළුවට හිටපු පොලිස් ලොක්කන්ගේ විරෝධය

ඈත ඉතිහාසයේ ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් නැවත වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවන බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පතිවරයෙක් වන චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසනවා.

හිටපු පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ අද (13) කොළඹදී පැවති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔවුන් මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ පසුගියදා ජාතික ජන බලවේගයේ පවත්වන ලද විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුවට විරෝධය පල කරමින්.

මෙහිදී ඔවුන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බොරුව ඇත්ත ලෙස දැකීමත් ,ඇත්ත ඇති සැටියෙන් නොදැකීමත් ,අතීතය අමතක කරමින් සිදු කරන ලද මෙවැනි දේවල් නිසා පොලිසියට සිදුවන්නේ අවමානයක් බවයි.

එහිදී අදහස් දැක්වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා,

“1971 ඒ කැරැල්ලෙන් පස්සේ විශාල පුනුරුත්ථාපනය කිරීමක් රජය විසින් සිදු කළා. අපි සෑම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරැල්ල අවසාන වෙයි කියලා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපොළ සහ ජීවිත විනාශ වුණා. අපි ඊට පස්සෙත් හිතුවා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මස 09 වනදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතිං මෙවැනි දේවල් කරන කොට ඉදිරියට මේක නොකරාවි ද ? ” යනුවෙන් ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවට තවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම සහභාගී වී සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!