මාලිමාව IMF නියෝජිතයින් අතර තරු හෝටලයක දී සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ ගාලුමුවදොර පිහිටි තරු පන්තියේ හෝටලයේ දී පැවැත් වුණා.

පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ කැට්සියරිනා ස්විඩ්සෙන්කා සහ මානවී අබේවික්‍රම යන මහත්මීහු ද සාකච්ඡාවට එක්ව තිබෙනවා.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්ම මහත්මීන් සහභාගි වූ බවයි ජාතික ජන බලවේගය පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!