සජිත් ස්මාර්ට් බෝඩ් එකක් දෙද්දී එයින් 20ක් දුන් වැඩසටහනක් ගැන වීරසිංහ කියයි

විපක්ෂ නායකවරයා එක් දිස්ත්‍රික්කයකට එක ස්මාර්ට් බෝඩ් එකක් දෙනකොට මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වෙන “ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහනින් අම්පාරේ පාසල් විස්සකට ස්මාර්ට් බෝඩ් දෙන්න කටයුතු කළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (25) අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින්.

ඒ අවස්ථාවේ දී ඔහු මෙලෙස ද පැවසුවා.

“කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සමග එකතුවෙලා smart srilanka වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයට ගෙන ඒම නිසා මෙම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී දරුවන්ට උදව් කිරීමට හැකි වුණා.

ස්මාර්ට් බෝඩ් බෙදා දීම විතරක් නෙමෙයි ආබාධිත දරුවන්ට, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ඒ වගේම විදේශ රැකියාවන් සඳහා ගිහින් ඇවිත් සිටින ශ්‍රමිකයන්ට ඔවුන්ව සුභසාධනය කරන්න එම වැඩසටහන මගින් හැකි වුණා. ඒ විතරක් නෙමෙයි මාධ්‍යවේදීන්ට, ගොවියන්ට, කම්කරුවන්ට, පෙර පාසල් ගුරුවරුන්ට මේ හැම දෙනාටම උපකාර කරන්න ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනින් පුළුවන් වුණා.”