ෆොන්සේකාට එරෙහි සජබයේ ප්‍රතිශෝධන පෙත්සම කැඳවීමට නව දිනයක්

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දරන තනතුරුවලින් ඒ මහතාව ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

අද (06) එම පෙත්සම කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේ අදාළ පෙත්සම මේ මස 21 වනදා කැඳවන ලෙසයි.

මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින්.

හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශවලින් පසුව සිය පක්ෂ සමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරන තනතුරුවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් සූදානම් වන බවට සරත් ෆොන්සේකා මහතා පැවරූ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා මහතා එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

එම වාරණ නියෝගය ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් ද කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව අදාළ තීරණය ප්‍රතිශෝධනය කොට සරත් ෆොන්සේකා මහතා ලබාගත් වාරණ නියෝග අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!