මෝදි ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපාන ගිවිසුමක් අත්සන් කරන සූදානමක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හය අතර ජාතික ආරක්ෂාවට හා රාජ්‍ය ආරක්ෂාවට බලපාන ගිවිසුමක්ද වන බව තානාපති ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අනුව ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම සහ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතුවලට අදාල ආරක්ෂක ගිවිසුමක් වන බවද අනාවරණය වේ. මෙම ගිවිසුම අත්සන් කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ කළ නිල සංචාරයේදී ඇතිවූ එකගතාවයක් අනුවය.

ඉන්දියාව ලංකාවට යුද ආධාර ලබාදෙන අතර සමුද්‍ර ආරක්ෂාව ශක්තිමත් කිරීම සදහා ඩෝනියර් සමුද්‍රීය ඔත්තු බැලීමේ ගුවන් යානයක් 2022 වසරේදී ඉන්දියාව විසින් පරිත්‍යාග කර තිබුණි. ඒ අතරම නාවික හා ගුවන් හමුදා නිලධාරීන් ගුවන් යානා ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියාවේ පුහුණුවද ලබාගනී.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරවාරයේදී ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මගින්ද දෙරටේ ආරක්ෂාව සහ සුරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් සහතික කිරීම සදහා පුහුණුව හා ඒකාබද්ධ අභ්‍යාස ඇතුළු කරුණු සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණ තිබුණි.

මුහුද යටින් යන කේබල් පද්ධතියක් ඔස්සේ ලංකාවේ විදුලි බල පද්ධතිය ඉන්දියාවට සම්බන්ධ කිරීම සදහා වන ගිවිසුමකට මෙහිදී අත්සන් තැබීමට නියමිතව ඇත.

ඩිජිටල් හැදුනුම්පත ලබාදීම සදහා වන ගිවිසුමකට, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මාන්තයට අදාල ගිවිසුම්ද මෙහිදී අත්සන් කිරීමට නියමිතව තිබේ. ඒ අතරම මන්නාරම රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයක් ලබාදීම සදහා වන ගිවිසුමක්ද වේ.

ලංකා විදුලි බල මණ්ඩලය හා ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථා අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන සාම්පූර් බලාගාරය සදහා මුල් ගල් තැබීමට ද නියමිතය. මෙක රටවල් දෙක අතර වන ඒකාබද්ධ ව්‍යාපාරයක් වේ.

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී මහා බෝධියට ගොස් වැද පුදා ගැනීමට අපේක්ෂා කරන බවද තානාපති ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි