තමන් මහින්ද රාජපක්ෂ බව ජනාධිපති අනුර කුමාර දිසානායකට අමතක වී ඇති බවත්, තමන් ඕනෑම අවස්ථාවකදී නිල නිවසින් පිටත්ව යාමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රකාශ කර සිටී.
තමන්ට මෙම නිල නිවස ලබාදුන්නේ කැබිනට් මණ්ඩල තීරණයක් අනුව බවද, මෛත්රීපාල සිරිසේන ජනධිපතිවරයාගෙ කාලයේදී එය ලබාදුන් බවද හිටපු ජනාධිපතිවරයා ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් ප්රකාශ කර ඇත. තමන්ගේ ආරක්ෂාව සහ හිටපු රාජ්ය නායකයින්ට අඛණ්ඩව එවැනි පහසුකමක් ලබාදීම නිසා මෙලෙස නිල නිවසක් ලබාදුන් බවද මහින්ද රාජපක්ෂ සදහන් කර සිටී.
තමන් බලහත්කාරයෙන් තබාගෙන නොමැති බවද, තමන් නිල නිවසින් ඉවත්ව යාමෙන් අනුර කුමාර ජනාධිපතිවරයාට ප්රතිලාභයක් අත්වන්නේ නම් තමන් එම නිල නිවසින් පිටත්ව යාමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
අනුර කුමාර දිසානායක යනු මේ රටේ ජනාධිපතිවරයා බවද, ඔහුගේ හැසිරීම විපක්ෂයේ සිටි දේශපාලඥයෙකුට වඩා වෙනස් නැති බවද මහින්ද රාජපක්ෂ සදහන් කළේය.
තමන් මහින්ද රාජපක්ෂ බව අනුර කුමාර ජනාධිපතිවරයා අමතක කර ඇති බව අවධාරණය කර සිටි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ කතා ගැලරියට හොද බවද කීවේය. තමන්ට ලිඛිත දැනුම්දීමක් කරන්නේ නම් ඕනෑම අවස්ථාවකදී නිල නිවසින් පිටත්ව යාමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.
තමන් රට වෙනුවෙන් දුෂ්කරම අවස්ථාවේදී කටයුතු කළ ජනාධිපතිවරයා බවත්, යුද්ධය අවසන් කර රට සංවර්ධනයේ මාවතට ගෙන ආ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සිහිපත් කර සිටී.