රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති“ මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව“ අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළා.
”රට ශීඝ්‍ර දියුණුවකට ගෙන ගියේ නැත්නම් රටට අනාගතයක් නැහැ. රටේ ආර්ථිකය එක තැන පල්වීමට ඉඩ තබනවාද, එය ඉදිරියට ගෙන යනවාද නැත්නම් කඩා වැටීමට ඉඩ තබනවාද කියා තීරණය කළ යුත්තේ තරුණ පරපුරයි.
අද රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කළොත් රටේ ආර්ථිකය නැවත කඩාවැටීමකට ලක් වෙනවා. සෑම අයෙකුටම රට හැර යාමට ආර්ථික හැකියාවක් නැහැ. එසේනම් අප සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි.
දැනට රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ තරුණ තරුණියන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලා සිටිනවා. රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කරන්නේ එම වෙනස ලබාදීම සඳහායි. ඒ සඳහා අවශ්‍ය මූලික නීති මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේ දී සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. ආර්ථිකය වෙනස් කිරීමට නම් රටේ නීති පද්ධතිය ද වෙනස් කළ යුතුයි.
රට ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා ගෙන යාමේදී රජයේ සෑම දෙපාර්තමේන්තුවකම හා සංස්ථාවකම සහාය අවශ්‍ය වෙනවා. එසේ සිදු කිරීමට නොහැකි නම් එම ආයතන ව්‍යුහය සංශෝධනයකට ලක් කළ යුතුයි.
ඒ වගේම ගමේ ආර්ථිකය දියුණු නොකර රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. දියුණු සෑම රටක්ම ග්‍රාමීය කෘෂි ආර්ථිකය දියුණු කර තිබෙනවා. ගමට නවීන කෘෂිකර්මාන්තය ගෙන ඒමට අප කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ නිසයි. එසේ නම් වෙනසක් සමඟ ඉදිරියට යනවාද, එක තැන පල්වෙනවාද කියා තරුණ ඔබ තීරණය කළ යුතුයි.
අප එදා තරුණයන් ලෙස මෙම වැඩසටහන් ඉල්ලා සිටියා. තරුණ පරපුර ලෙස අද ඔබ ඊට සූදානම් නම් අප එක්ව මෙම ගමන යමු. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අප කටයුතු කරනවා. ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණ පනත ගෙනවිත් අප එම වැඩපිළිවෙළ ආරම්භ කරමු. තවද රජයේ මුදල් පාලනය කිරීමට නව මුදල් පනතක් ගෙන ඒමටද කටයුතු කරනවා.
අද රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් වුවත් රැකියා නියුක්ත කාන්තා නියෝජනය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව පනත් දෙකක් අප ගෙන එනවා. මේ සියල්ලම මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සමඟ රටේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස සඳහා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.
ඔබව බොරුවෙන් මුලාකරන කිසිඳු පාර්ශ්වයකට මම ඉඩදෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. මෙම නව නීති ගෙන එන්නේ එම ප්‍රශ්න විසඳීමට බව කිව යුතුයි”
අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.