ප්‍රතිලාභ රැසක් සමගින් “ජයගමු ශ්‍රී ලංකා” අද සහ හෙට බදුල්ලට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ ආරම්භය අද (31) සහ හෙට (1) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ජයගමු ශ්‍රී ලංකා බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනේ ආරම්භය සහ විදේශගත ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ක්‍රියාත්මක වන හරසර වැඩසටහන පළමුදින එනම් අද (31) උදෑසන 9.30ට ආරම්භ වනවා.

අද (31) ප.ව. 2.00ට අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සඳහා වන ගරු සරු වැඩසටහන ආරම්භ වීමට නියමිතයි.

දෙවන දින එනම් හෙට (1) උදෑසන තරුණ තරුණියන්ට විදෙස් රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු අවස්ථා සමගින් ක්‍රියාත්මක Smart Youth වැඩසටහන පෙ.ව. 9.30 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

හෙට ප.ව. 2.00ට ශ්‍රම වාසනා අරමුදල මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම ආරම්භ වනවා.

ඊට අමතරව රැකියා වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම්, අඩු ආදායම්ලාභී පවුල් සහ විගමනික ශ්‍රමික පවුල් ව්‍යවසාය කටයුතු සඳහා යොමු කිරීම ද ජයගමු ශ්‍රී ලංකා තුළින් සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ල මෙම ජංගම සේවා වැඩසටහන යටතේ බදුල්ලේ ජනතාව වෙත පැමිණෙන අතර එමගින් කොළඹ කාර්යාල වෙත ගොස් කරගත යුතුව තිබූ කාර්යයන් රැසක් සුළු වේලාවක් තුළ තමන්ගේ ප්‍රදේශය තුළ දී කර ගැනීමට හැකි වීම ද මෙම වැඩසහන මගින් බදුල්ල පුරවරයේ ජනතාවට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!