ජයගමු ශ්‍රී ලංකා ‘අද සහ හෙට’ පුලතිසිපුරවරයට

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන වැඩසටහන අති සාර්ථකව කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී මාර්තු 9 සහ 10 දෙදිනදී පැවැත්වුණා.

ඒ අනුව ඇතුගල් පුරයෙන් සාර්ථකව අවසන් කෙරුණ මීළඟ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන අද (16 ) සහ හෙට (17) යන දිනවල අභිමානවත් පුලතිසි පුරවරයේ පැවැත්වීමට නියමිතයි.වැඩසටහන පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස පැවැත්මට අපේක්ෂා කෙරෙනවා..

‘ජයගමු ශ්‍රී ලංකා’ මාර්තු 09 – 10 දෙදින පැවති වැඩසටහනේදී පාසල් උපකරණ බෙදාදීම, ශ්‍රම වාසනා අරමුදල්, දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳව දිරිගැන්වීමේ දේශන මාලාව, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, එම පවුල්වලට විවිධ ප්‍රතිලාභ ලබාදීම, තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙන ස්මාට් යූත්, අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදෙන ගරු සරු, ශ්‍රම වාසනා අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් උපකරණ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් සිදු කෙරුණා.

රැකියා වෙළඳපොළ උපදෙස් ලබා දීම සහ ව්‍යවසායකයන් දිරිමත් කෙරෙන අවස්ථා ලබා දීමද මෙහිදී සිදු කෙරුණු අතර එයින් අනාගතයට වැදගත් අදහස් ගණනක් එකතු කරගත් වෘත්තිකයෝ බොහෝ සිටියා.

විදෙස් රැකියා අවස්ථා කුරුණෑගල ජනතාව වෙත රැගෙන යමින් ක්‍රියාත්මක කෙරුණ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවයට විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවක් එක්ව සිටි අතර විදෙස් රැකියා සදහා ලියාපදිංචි කිරීම්ද එහිදී සිදු කෙරුණා.

‘මගෙන් පටන්ගමු – ජයගමු ශ්‍රී ලංකා’ – ‘ස්මාට් වැඩ්ඩන්’ ජනතා ජංගම සේවය සඳහා දිස්ත්‍රික්කයේ රැකියා සහ විදේශ රැකියා අපේක්ෂිත බොහෝ දෙනෙකුගේ ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී “මෙතන ඉන්න වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත්‍ර ලබා දීමත් අපි ආරම්භ කරනවා. ඔබට සීඩා ආයතනයේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔවුන් ඔබේ දැනුම පරීක්ෂා කර සහතිකපත් ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් සමග සාකච්ඡා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සමග එක් වෙලා ඔබට ගෙවන්න සූදානම්. සහතිකය තියෙනවා නම් ලංකාවේ වැඩ කරන්න පුළුවන්. පිටරට යනව නම් සහතිකය සමග එයත් පුළුවන්. රැකියාව සඳහා බලපත්‍රයක් ලබා දීම අපි සිද්ධ කරනවා. ඔබ ඒ සඳහා වියදම් කරන්න ඕන නෑ. ඒ සඳහා වන වියදම රජය, ජාත්‍යන්තර සංවිධාන, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දරන්න සූදානම්. මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන කිව්වේ. අනෙක් ක්ෂේත්‍රවල අයටත් තමන්ගේ සහතික ගන්න ඕන මුදල් ගෙවීම අපි සම්පාදනය කරනවා. මේ මුලපිරීමක් විතරයි. ” යනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලු දෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් ලබා දෙමින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 246කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, පාසල් සිසුන් 364කට පාසල් උපකරණ සහ විගමණික ශ්‍රමික පවුල් 100කට රුපියල් දසදහසකට වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම සිදු කෙරුණා.

විදේශ රැකියා කරමින් සිට මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු විගමණික ශ්‍රමිකයින් 12 දෙනෙකු, මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර සිදු කරන විගමණික ශ්‍රමිකයන් 9 දෙනෙකු සඳහා සඳහා රුපියල් පනස් දහස බැගින් වූ ආධාර දීමද, ආබාධිත විගමණික ශ්‍රමිකයෙකු සඳහා රෝද පුටුවක් සහ ඇස් කණ්නාඩි 32ක් ලබා දීමද එහිදී සිදු කළා.

විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් තුළ සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්‍ය ස්මාට් බෝඩ් 30ක් පිරිනැමීමටද කටයුතු කෙරුණා.

ශ්‍රී ලංකාව තුළ අවිධිමත් අංශයේ වෘත්තීන්වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබා දීමට ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහන යටතේ ණ්VQ සහතික ලබා දීමද සිදු කෙරුණා.

මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිකාරයින් වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක්ද සංවිධානය කරනු ලැබ තිබුණා.

‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ දෙවන දිනයේදී මෙරට තරුණ ප්‍රජාව ස්මාට් වැඩ්ඩන් කිරීම අපේක්ෂා කරගත් ‘ස්මාට් යූත් ක්ලබ්’ පිහිටුවීම සිදු කෙරුණ අතර එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දීප ව්‍යාප්තව තරුණ තරුණියන් දස දහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා.

දෙවැනි දින වැඩසටහනට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට ප්‍රධානී ජොනී සිම්ප්සන් මහත්මියද එක්ව සිටියා.

අද සිට හෙට දෙදින තුළ පැවැත්වෙන පුලතිසිපුරවර ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ගේ සමාජ ආරක්ෂණය හා ගරුත්වය සහතික කරන ‘ගරු සරු’ වැඩසටහන පොළොන්නරුවේදීද ක්‍රියාත්මක වීම සිදු කෙරෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදීද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් සිසුන්ට පාසල් උපකරණ, විගමණික ශ්‍රමික පවුල් වෙත රුපියල් දසදහසක වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම යනාදී සුභසාධන කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මීට ඉහත ක්‍රියාත්මක කළ පරිදි ස්වයං රැකියාවල නියුතු විගමණික ශ්‍රමිකයින්, මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර සිදු කරන විගමණික ශ්‍රමිකයන්ට ආධාර සහ ආබාධිත විගමණික ශ්‍රමිකයින්ට රෝද පුටු ඇස් කණ්නාඩි මෙන්ම මූල්‍ය ආධාර ලබා දීමද පොළොන්නරුවේදී සිදු කෙරෙනවා.

විදේශ රැකියා අවස්ථා, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් උපකරණ මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සහතික කරන වැඩසටහන් පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල නගරවල මේ වන විට පැවැත්වුණ වැඩසටහන් සියල්ල මේ දක්වා අති සාර්ථකව පැවැත්වුණා. ඒ අනුව පුලතිසි පුරවර වැඩසටහනද අති සාර්ථක එකක් වනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!