කොළඹ සහ මීගමුවේ ‘ISIS කතාවේ’ හෙළිවූ තොරතුරු

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ අහමදාබාද් වෙත ගිය ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධව විමර්ශන ශ්‍රී ලංකා පොලිසිය විසින් මේවන විට පවත්වනු ලබනවා.

ඒ,රහස් පොලිසිය,ත්‍රස්ත විමර්ශන ඒකකය සහ බුද්ධි අංශ එක්වයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනා වන්නේ මීගමුවේ පදිචි 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් , 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 34 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනායි.

ගුජරාට් ප්‍රාන්තයේ පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ලංකාවේ සිට චෙන්නායි හරහා අහමදාබාද් වෙතට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ ඇති බවයි.

එමෙන්ම දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන් අහමදාබාද් වෙත මැයි 18 හෝ 19 වැනි දින ගුවන් යානයකින් හෝ දුම්රිය මාර්ගයකින් පැමිණෙන බව වාර්තා වී තිබුණු බවත් ගුජරාට් ප්‍රාන්ත පොලිසිය පවසනවා.

ඒ අනුව ඊට අවශ්‍ය උපායමාර්ගික කණ්ඩායමක් සූදානම් කළ බවත් දකුණු ප්‍රදේශයේ සිට පැමිණෙන සියලු දුම්රිය සහ ගුවන් සේවා නාම ලේඛණ පරීක්ෂා කර තිබෙනවා.

එසේම ඔවුන් සිව්දෙනා චෙන්නායි සිට අහමදාබාද් දක්වා ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6E848 දරණ ගුවන් යානයෙන් පැමිණෙන බවට වාර්ථා වූ බව සහ එම තොරතුරු කොළඹින් තහවුරු කර ගත් බව ගුජරාට් ප්‍රාන්ත පොලිස්පතිවරයා ප්‍රකාශ කරනවා.

අදාළ ත්‍රස්තවාදීන් සිව්දෙනා දෙමල භාෂාව පමණක් කතා කරන බැවින් භාෂා පරිවර්තකයෙකු යොදා ගනිමින් ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රශ්න කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, දෙරටේ මුදල් සහ ගුවන් බලපත්‍ර මෙන්ම එක් අයෙකුගේ ගමන් මල්ලෙන් ISIS සංවිධානයේ කොඩියක්ද හමුව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මෙම ශ්‍රී ලාංකික පිරිස පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත නායකයෙකු වන අබූ නම් තැනැත්තාව පසුගිය පෙබරවාරියේදී සමාජ මාධ්‍ය තුලින් හඳුනාගෙන ඇති බවත් ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් ලෙස පත්ව ඇති බවත් ගුජරාට් ආරක්ෂක අංශ පවසා තිබෙනවා.

ඔවුන් සිව්දෙනා ISIS නායක අබූගේ උපදෙස් මත ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත්, ඔවුන්ට ඒ සඳහා මෙරට මුදලින් රුපියල් ලක්ෂ 04ක් ද ලබා දී ඇති බවත් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා සූදානමින් සිට ඇති බවත් මේ වන විට විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුධ සම්බන්ධ තොරතුරු රැසක් ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදි ආරක්ෂක අංශ වෙත හෙළි වී ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තොල 03ක් සහ ඒ සඳහා යොදාගන්නා උණ්ඩ රැඳවුම් 20ක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාට එරෙහිව රැස්කළ වාචික සහ පර්වේෂණීය සාක්ෂි මත පදනම්ව එරට දණ්ඩ නීති සංග්‍රහය, නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත සහ නීතිවිරෝධි අවිආයුධ පනත ප්‍රකාරව ඉදීරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

මේ අතර අත්අඩංගුවට ගත් මෙම ත්‍රස්තයන් සිව්දෙනා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් ලෙස මීට පෙර කටයුතු කර ඇති අතර ජාතික තවුහිද් ජමාත් යනු පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් අයත් වූ සංවිධානයද වනවා.

එම සංවිධානය 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!