ශ්‍රී ලංකා සංචාරයකට සැරසෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගෙන තිබෙනවා.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති විශේෂ හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ආරාධනාව සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාස සිදු කරන බවට විශ්වාස කෙරෙන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.කේ ජයශංකර් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය රජය ත්‍රිකුණාමලය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය ගැන පැවති සාකච්ඡාවේදී ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව ජයෂංකර් මහතා සඳහන් කළා.

ඒ අතර ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවත් පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුළත් වන බවයි.

එසේම සත්‍ය හා ප්‍රතිසන්ධාන පනත ලබන ජුලි මාසය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා ජයෂංකර් මහතා හමුවේ පවසා තිබෙනවා.

කෘෂිකර්ම නවීකරණය ගැන පැවැති ද්වීපාර්ශවික සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන්ද කඩිනමින් සාකච්ඡා කර විසඳුමකට පැමිණිය යුතු බවටද එකඟතාවයකට එළැඹුණු බව වාර්තා වනවා.

වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණුවට පත්කිරීමට හැකියාව ලැබෙන බවත් සඳහන් කළා.

යළිත් වරක් අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජයෂංකර් මහතාට සුභ පැතුම් පළ කළා.