විදුලි බිල ඉහළ නංවන තෙක් IMF ණය වාරිකය ලංකාවට නෑ

විදුලි බිල ඉහළ නංවන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළග ණය වාරිකය ලංකාවට ලබා නොදෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ අනතුරු අගවා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදෙන ණය පහසුකම් යටතේ වන සිව්වැනි සමාලෝචනය සදහා කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සදහා තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා සදහන් කර සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සදහා සැපිරිය යුතු කොන්දේසි සපුරා නොමැතිවීම නිසා මෙසේ ණය පහසුකම අත්හිටුවීමට කටයුතු කර තිබේ. පිරිවැයට සරිලන ලෙස විදුලි බිල තීරණය කළ යුතු බවට වන කොන්දේසියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව විදුලි බිල ඉහළ නැංවිය යුතුව තිබෙන බවද මුල්‍ය අංශයේ ආරංචිමාර්ග සදහන් කරයි.

විදුලි බිල තීරණය කිරීමේ වත්මන් ක්‍රමවේදය මගින් විදුලි නිපදවීමේ පිරිවැය ආවරණය නොකරන බවද ලංකා විදුලි බල මණ්ඩලය මත මහජන මූල්‍ය බරක් දැරීම නතර කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික ප්‍රධානියා අවධාරණය කර සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය පහසුකම් ලබාදීමට නියමිත අතර මෙවර වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 344ක් හිමිවීමට නියමිතව තිබුණි. එම මුදල ලැබුණේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ණය පහසුකම් යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක මුදලක් ලංකාවට ලැබීමට නියමිතව තිබුණි.