මත්පැන් බලපත්‍ර ඉල්ලන මන්ත්‍රීවරුන්ට දඬුවම් දුන්නොත් සජිත්ට කී දෙනෙක් ඉතුරුවෙයිද?

මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිදු වැඩපිළිවෙළක් සකසා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එසේම විපක්ෂ නායකවරයා පවසන අන්දමට මත්පැන් බලපත්‍ර අයදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුන් කී දෙනෙකු ඉතිරි වන්නේදැයි කිව නොහැකි බවත් අමාත්‍යවරයා පැවසුවා.

අවසන් වරට මීට වසර 16 කට පෙර එනම් 2008 වසරේදී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබුණත් ඉන් වසර 16 කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා ගණනය කළ යුතු බවත්, එසේම නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මෙම නව ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට ද රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම හා නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මගින් මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එය පාලනය කරන බවත් , රජයට අවශ්‍ය නීතිවිරෝදී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පමණක් බවත් පැවසුවා.

විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!