නොමිලේ දෙන සහල් ලබානොගත් අස්වැසුම ප්‍රතිලාභීන් ගැන පරීක්ෂණයක්

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින නමුත් රජය නොමිලේ ලබාදෙන සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර එම වාර්තාව ලබන සතිය වන විට තමා වෙත ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නොමිලේ සහල් ලබා දීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන්ම හිමි වන බව සේමසිංහ මහතා පවසනවා.

නමුත් අදාළ සහල් ලබා ගැනීම සඳහා එම ස්ථානවලට යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබා ගන්නේ නම් සිය අනන්‍යතාව හෙළිවේයැයි යන සැකය මත කිසිවකු එය ලබා ගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනා ගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා අද කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

වසර 30ක් පමණ පැරැණි සමාජ සුබ සාධන ක්‍රමවේදයකින් නව ක්‍රමවේදයකට වෙනස් වන අවස්ථාවක තවමත් පැරැණි ක්‍රම අනුව කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ලොව පිළිගත් නව ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යාම අත්‍යාවශ්‍ය බවයි.

එය සුබ සාධන ක්‍රියාවලිය පමණක් නොව ආර්ථික ක්‍රියාවලියට ද පොදු කරුණක් බව පෙන්වා දුන් සේමසිංහ මහතා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව දශක දෙකකට පමණ පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබූ ක්‍රමවේදයක් බවයි.

මේ අතර අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා දැනට අයදුම්පත් 450,404ක් ලැබී ඇති අතර ඉන් 84% හෙවත් 377,485ක් පද්ධතියට ඇතුළත් කර ඇති බව මෙහි දී අනාවරණ වුණා.

අලුතෙන් බඳවා ගත් ග්‍රාම නිලධාරීන් 2,000 මෙම කටයුත්ත වෙනුවෙන් උපරිමයෙන් දායක කර ගන්නා බවත් සේමසිංහ මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම අස්වැසුම සංගණන කටයුතු සඳහා දායක වන වෙනත් පාර්ශ්වයන් වෙත ද දීමනා ලබා දීමට පියවර ගන්නා බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද කඩිනමින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.