අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට බහුතරය අහිමි වුණ හැටි

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට වසර 30ක ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර නෙල්සන් මැන්ඩෙලා එම කොංග්‍රසයට නායකත්වය ලබාදී තිබුණා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය මැයි මස 29 වැනිදා පැවැති දකුණු අප්‍රිකානු මහ මැතිවරණයේ 99% ක ප්‍රතිඵල ඊයේ (02) පස්වරුව වන විට නිකුත් කර තිබූ බවයි.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට ලැබී ඇත්තේ 40% ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවත් සැමරීමට තරම් ජයග්‍රහණයක් නැති බවත්, හවුල් රජයකට යෑම හැර අන් විකල්පයක් නැති බවත් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ මහලේකම් ෆිකිලේ එම්බලුලා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

1994 වසරේදී එරට තුළ පැවැති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ සිට සියලුම මැතිවරණවලදී 50%ක ඡන්ද ප්‍රතිශතයක් අත්කර ගැනීමට මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සමත්ව තිබෙනවා.

නමුත් මෙවර එරට විරුද්ධ පක්ෂ නායකයා ලෙස කටයුතු කළ සුදු ජාතික ජෝන් හෙන්රි ස්ටීන්හොයිසෙන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැඩි බලයක් හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!