පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ අද (03) පැවති ඕමානය සහ නැමීබියාව අතර තරගයේ ජය නැමීබියාවට හිමිව තිබෙනවා.
ඒ ඕමානය සුපිරි පන්දුවාරයකින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ නැමීබියාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමානයට ආරාධනා කළා.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 109ක් පමණයි.
Khalid Kail ලකුණු 34 ක් ද, Zeeshan Maqsood ලකුණු 22 ක් ද, Ayaan Khan ලකුණු 15 ක් ද එහිදී ලබා ගත්තා.
පන්දු යැවීමේදී නැමීබියානු කණ්ඩායමේ Ruben Trumpelmann කඩුළු 04ක්ද, David Wiese කඩුළු 03ක්ද, Gerhard Erasmus කඩුළු 02ක්ද, Bernard Scholtz එක් කඩුල්ලක්ද දවා ගනු ලැබුවා.
ලකුණු 110ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 109ක් ලබා ගැනීමත් සමඟ කණ්ඩායම් දෙකේම ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයකට නැවත තරගය යොමු කෙරුණා.
එහිදී පළමුව පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩායම පන්දුවාරය අවසානයේ ලකුණු 21ක් ලබාගත් අතර, එම ඉලක්කය හඹා ගිය ඕමාන කණ්ඩායමට පන්දුවාරය අවසානයේ එක් ක්ඩුල්ලක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 11ක් පමණයි.