වාහන ආනයනයට සීමා තිබ්බත් වාහන 44,000ක් වෙළෙඳපොළට පැමිණි හැටි

ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණත් කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කෙරුණා.

ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේදී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවයි.

අමාත්‍ය සියඹලාපිටිය මහතා එහි දී දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි සඳහන් කර සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!