හරක් කටාට දරුවට ඇමතුම් දෙන්න බෑ..ගෙදරින් කන්නත් බෑ – මෙන්න අද අධිකරණයේදී සිදුවූ දේ

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට පහසුකම් කීපයක් සලසාදීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අද (08) කොළඹ මහාධිකරණය හමුවේ එකඟවී තිබෙනවා.

ඔහුට නීතිඥවරු හමුවීම සඳහා ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන මෝසමෙන් ඉල්ලා තිබුණ අතර එම කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

විත්තිකරුගේ ආරක්ෂාව සඳහා සීසීටීවී ක්‍රියාත්මක වන්නේදැයි වාර්තාවක් කැඳවන ලෙසද එම මෝසමින් ඉල්ලීමක් කර තිබුණ අතර රජයේ නීතිඥවරයා සඳහන් කළේ රඳවා සිටින ස්ථානයේ එවැනි කැමරා පද්ධතියක් නොමැති බවයි.

ඔහුගේ ආරක්ෂාවට ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බවත් එහිදී අනාවරණය වුණා.

පියා ඇතුළු ඥාතීන් හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව ද රජයේ නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.

විදේශයක සිටින දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන භාරයේ පසුවන පුද්ගලයකුට මෙවැනි පහසුකමක් ලබාදීම අපහසු කරුණක් බවයි.

විත්තිකරුව තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලීමක් කර තිබුණ අතර රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු තංගල්ල රෝහලේ බාහිර රෝගියෙකු වශයෙන් ලියාපදිංචි කර වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවයි.

නිවසින් ආහාර පාන ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට ආරක්ෂක හේතූන් මත ඉඩදිය නොහැකි බව ද අධිකරණයේදී අනාවරණය වුණා.

මෙහිදී නීතිඥවරයා කළ ඉල්ලීමක් අනුව අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමට අවසර ලබා දුන්නා.

නඩුව ලබන 26 වනදා කැඳවීමට නියමිතයි.