රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය (GMOA) සමග අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ” ඔවුන් තවදුරටත් මේ විදියට නම් හැසිරෙන්නේ අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ…මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජයක් විදියට මුහුණදෙන්න සුදානම්” යනුවෙනි.
දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරගෙන යන වැඩවර්ජනය තව දුරටත් සිදුනොකරන ලෙස තමා ඉල්ලා සිටින බවද පැවසු අමාත්‍යවරයා අද දිනයේ සිට වැඩභාරගැනීමට නියමිත නවක වෛද්‍ය නිලධාරීන්ට කිසිදු බියක් නොමැතිව රාජකාරියට වාර්තා කරන ලෙස ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නියමිත බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී යම් වරදක් කර ඇත්නම් අධිකරණයේ සහාය පැතීම සුදුසුම දේ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.