මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල කොපමණද යන්න මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ අනුව, ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙන් සූත්‍රයකට (Formula) අනුව අදාළ ගණනය සිදු කිරීමට නියමිත බව එම කොමිසම කියයි.
එක් එක් අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල කොතෙක්දැයි අදහස් ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (22 වැනිදා) පැවැත්විණි. මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු පිරිසක් සහභාගි විය.
ඉකුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල ලෙස මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රුපියල් 20 ක මුදලකි.
මෙම සාකච්ඡාවේදී බොහෝ පක්ෂ ලේකම්වරු කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම රුපියල් 20 ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. විශේෂයෙන්ම, වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් කියා සිටියේ සිය කොට්ඨාසවල ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් වැය වන බවත්, ඊට ප්‍රධාන හේතුව භූමියේ විශාලත්වය බවද ඔවුන් කියා සිටියහ. ඒ අනුව එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල රුපියල් 20 ක් ප්‍රමාණවත් නොවන බවත්ය.
මේ නිසා සූත්‍රයකට අනුව ගණනය කර එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල ප්‍රකාශයට පත් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ලේකම්වරු ඉල්ලා සිටියහ.
මේ අතර, ස්වාධීන කණ්ඩායම් නායකයන් සමගද අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල සම්බන්ධව සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම්දී ඇත. එම කරුණුද සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිෂන් සභාව අදාළ මුදල තීරණය කිරීමට නියමිතය.
මෙහිදී පොදු මුදලක් තීරණය කර එය එක් එක් කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් තීරණය කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. ඒ අනුව, ඡන්ද කොට්ඨාස 4,872 ක සඳහා මෙම මුදල වෙන් වෙන් වශයෙන් තීරණය කෙරේ.
කොට්ඨාස ලැයිස්තුවේ අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, සමානුපාතික ලැයිස්තුව නියෝජනය කරන අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි මුදල සහ අදාළ පක්ෂය හෝ දේශපාලන පක්ෂයට වියදම් කළ හැකි මුදල කොතෙක්ද යන්න මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කරන්නේය.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක් තුළදී අදාළ අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සිය ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.