පඩි ප්‍රශ්නෙ නිසා, මම අයින් වෙන්නෙ නෑ! – නන්දලාල් කියයි

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.

“මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි.ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක් කියලා.”

යනුවෙන් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් එහි දී කියා සිටියේ,

“අනිත් එක මේක මුදල් මණ්ඩලය පමණක් නෙමෙයි මේ තීරණය ගන්නේ වෘත්තීය සමිති එක්ක කතා කරලා එකඟවෙලා වසර තුනක් සඳහා සාමුහික එකඟතාවයකින්. මේකේ වෙනස තියෙන්නේ, අනෙකුත් තීරණ අපේ පරිපාලනය හා මුදල් මණ්ඩලයේ තීරණ ආර්ථිකය සම්බන්ධයෙන්. ඒක වෙන කෙනෙක් එක්ක එකතු වෙලා කතා කරන්න දෙයක් නෑ. මේක සේවකයින් වෙනුවෙන් සාමුහිකව ගත්තේ දෙගොල්ලෝම එකතු වෙලා. ඒකයි මෙතෙන වෙනස. මම හිතන්නේ නෑ ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් තියෙනවා කියලා.” යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!