ජනාධිපති ඉන්දියාවට ගිහින් කරන දේවල් මෙන්න – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරවාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර ඉන්දීය ජනාධිපතිතුමිය හමුවීමටද නියමිතව ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

දෙසැම්බර් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය, පළමු නිල සංචාරය ද වෙයි.

ඉන්දීය අගමැතිවරයා සමග ද්වි පාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු ගැන එහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

දිසානායක ජනාධිපතිතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දිල්ලියේදී ව්‍යාපාරික වැඩසටහනකට ද සහභාගී වනු ඇති බවද බුද්ධගයාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බවද නිවේදනයක් නිකුත් කරන මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ සාගර් යන දැක්ම සහ ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට කේන්ද්‍රීය ස්ථානයක් හිමි වන බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.