විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවන් වන පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන නෙත්තිකුමාර යන අය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයාද නම්කර තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බව පෙත්සම්කරුවන් පවසනවා.

එමෙන්ම මේ නිසා විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය විදුලිබල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කරනවා.

යෝජිත පනත් කෙටුම්පත හරහා විදුලි ගාස්තු අත්තනෝමතික ආකාරයට ඉහළ නැංවීමට බලය පවරාදී ඇති බවත් එය මහජන සුබසාධනයට එතරම් යහපත් නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඊට අමතරව එම පෙත්සමේ ලංකා විදුලිබල මණ්ඩලය යෝජිත පනත යටතේ සමාගම් කිහිපයකට වෙන් කෙරෙන බවත් ඒ තුළින් සේවකයින්ගේ වෘත්තිය සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් කෙරෙන බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම්කරුවන් මෙම පනත් කෙටුම්පතට පාදක වන විදුලිබල විෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටද අයත් විෂයක් බැවින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරනවා.

පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන නිසා එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!