ළමා හිංසනවල වැඩිවීමක්

ඉකුත් 2023 වර්ෂයේ දී ළමයින් කෲරත්වයට පත්කිරීම් සහ නොසලකා හැරීම්වල වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ, එම වසරේ දී පමණජ් ළමයින්ට පහරදීම්, තුවාල සිදු කිරීම් වැනි කායික හිංසන පිළිබඳ පැමිණිලි 2242ක් ලැබී ඇති අතර ළමයින් නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 2942ක් ලැබී තිබෙන බවයි.

එමෙන් ම ඉකුත් 2022 වසරේ කායික හිංසන පිළිබඳව පැමිණිලි 2096ක් සහ ළමයින් නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 2005ක් ලැබී තිබෙන බවත් එම අධිකාරිය වැඩිදුරටත් පවසනවා.

මෙම පැමිණිලිවලින් සියයට 90ක්ම දෙමාපියන්, භාරකරුවන්, පවුලේ සාමාජිකයන් හෝ ගුරුවරුන් විසින් කරන ලද කායික හිංසන හෝ නොසලකා හැරීමේ සිදුවීම් බව එම අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර මහතා ජාතික පුවත්පතකට සඳහන් කර තිබුණේ.

මීට අමතරව පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් අනිවාර්ය අධ්‍යාපනයට යොමු නොකිරීමේ පැමිණිලිවල වාර්තා වීමද පසුගිය 2022 වසරට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන අතර, ඒ අනුව එවැනි පැමිණිලි 1936ක් 2023 වසරේ වාර්තා වී ඇති අතර 2022 දී පැමිණිලි 1936ක් වාර්තා වී ඇති බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ගැහැණු දරුවන් වැඩි වශයෙන් ලිංගික අපයෝජනයට ලක්වීමට හේතුව ඔවුන් නොගැලපෙන ප්‍රේම සබඳතාවල පැටලීම සහ පවුල තුළ අනාරක්ෂිත බව වැඩිවීම බවට ද අනාවරණය වී තිබෙන බවයි එම අධිකාරිය පවසන්නේ.