රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

වැටුප් වැඩිකිරීම සඳහා විවිධ ඉල්ලීම් ලැබුණත් ඒ පිළිබඳව 2024වසරේදී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම වර්ධනය වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ අද උදෑසන (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී ජනධිපතිවරයා පැවසුවේ 2024 වසරේ ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේදී බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

වැටුප් සංශෝධනයන් පිළිබදව විවිධ ඉල්ලීම් අපට ලැබුණද ඒ පිළිබඳව 2024 දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම් වර්ධනයක් දැනට නැහැ. අතීතයේ වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී අපගේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳ දැමුවා. එවැනි තත්ත්වයකට අපට යළිත් යන්න බැහැ. සමාජයේ සෑම කොටසකටම ආර්ථික අර්බුදයේ පීඩාව තිබෙනවා. සමාජයේ සෑම ජන කොටසක්ම ඉතා කටුක මාවතක පසුගිය වසර දෙක තිස්සේ ගමන් කොට තිබෙනවා. 2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේ දී යී. ඒක තමයි ඇත්ත. දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලින් පිට පැන්නොත් යළිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි. 2022 සැප්තැම්බර් මස සිට IMF වැඩසටහන යටතේ අප ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රැසක් අත්කරගෙන තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩපිළිවෙලින් ඔබ්බට ගොස් තිරසර මාවතකට අපගේ ආර්ථිකය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප අදිටන් කර ගත යුතුයි. අප තවම විදේශ ණය ගෙවන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසානයේ දී අප ණය ගෙවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් වැඩි කර ගත යුතුයි.” ලෙසයි

වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!