ෆොක්ස් හිල් අනතුර ගැන යුද්ධ හමුදාවෙන් නිවේදනයක්

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලූම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කේ.ඒ.එන් රසික කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

වසර පහක නිහඬතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව 28වන වරටත් සංවිධානය කළ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වුණා.

තරගාවලියේ තරග ඉසව් 24ක් අතරින් 14 වැනි තරගය ලෙස පැවැත්වුණු 1500cc ford Laser Mazda ඛාණ්ඩය යටතේ පැවැත්වුණු තරගය අතරතුර මෙම අනතුර සිදුවුණේ ඊයේ(21) පස්වරුවේ.

මෝටර් රථයේ ධාවන පථයෙන් ලිස්සා ගොස් සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 7කු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් 21කු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.