අප්‍රිකානු සූකර උණ ලංකාවටත්

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබෙනවා.

ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා

පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකල අතර එම පරීක්ෂාවට අනුව ඌරන්ට වැළඳී ඇති අදාළ රෝගී තත්ත්වය දකුණු ආසියානු රටවල ද මෑතකදී වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය බවට අනාවරණය වී තිබෙනවා.

මෙම රෝගය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවසථාව මෙය වන අතර මෙම රෝගය රටේ සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන් වෙත බලය පැවරීමට කටයුතු කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව ඌරු මස්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර තිබෙනවා.