ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් උපදෙසක්

ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ පැවැති සමස්ත ලංකා පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ පාසල් පෝස්ටර් චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන දැනුම් සමාජයේ නව ප්‍රවණතා පිළිබඳ යථා අවබෝධයකින් තොර ව සමාජයේ ඉදිරියට යා නොහැකි බවත් මේ බව ප්‍රධාන වශයෙන් ම ගුරුවරුන් හා වැඩිහිටියන් අවබෝධ කරගත යුතු ව ඇති බවයි.

එසේම සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන් ම දැනුම සොයා ගොස් යාවත්කාලීන වෙමින් සිසුන්ට අවශ්‍ය නව දැනුම ලබා දීමේ නිපුණතා ළඟා කරගැනීමට ගුරුවරුන් දක්ෂ ලෙස ක්‍රියාකාරී විය යුතු බවත් ඒ තත්ත්වය මනා ව වටහා ගෙන දරුවන් වෙනුවෙන් වෙනස් වීමට සූදානම් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

වෙනස් වන ලෝකය හා අධ්‍යාපන ක්‍රමවලට අනුව තමන් වෙනස් නොවී පරිසරය හෝ ලෝකය වෙනස් කරන්නට යෑම ඵලරහිත ක්‍රියාවක් බවත් මෙවැනි අවබෝධයකින් තොර අයෝග්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තව වසර කිහිපයකට වඩා ඉදිරියට යා නොහැකි බවත් අමාත්‍යවරයා පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!