ෆෝන් එකෙන්, මස් වැද්දන් අල්ලන්න ගිය ආර්.ඇෆ්.ඕට ආදිවාසී ප්‍රහාරයක්

විමර්ශනයකින් අනතුරුව මස් ජාවාරමක් සිදුකළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හේනානිගල පිවිසුම් කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට එම ජාවාරමට සම්බන්ධ යැයි සැකකරන ආදිවාසියකු විසින් පෙරේදා (05) රාත්‍රියේ පහර දී ඇති බව වාර්තා වනවා.

මාදුරුඔය හේනානිගල වැව ප්‍රදේශයේ මෙම ජාවාරම්කරුවන් පිරිස මස් ජාවාරමක නිරත වෙමින් සිටිය දී පලාගිය සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථනයක්, දඩයම් කිරීමට යොදාගත් උපකරණ කිහිපයක්, හේනානිගල වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ සැකකරුවන් ඇල්ලීමට යෑමේ දී යි අඩවි ආරක්ෂකවරයා මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ.

මේ පිළිබඳව මාදුරුඔය හේනානිගල පිවිසුම් කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරියා ජාතික පුවත්පතකට පවසා තිබුණේ, මස් ජාවාරම්කරුවන් වැටලීමට ගිය මොහොතේ දී මස් බෑගයක් හේනානිගල වැවට දමා, සැකකරුවන් දෙදෙනකු පලාගිය බවයි.

එහිදී ඔවුන් සතුව තිබූ ජංගම දුරකථනයක් ඇතුළු ජාවාරමට යොදාගත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථනය ඔස්සේ විමර්ශන සිදු කිරීමෙන් පසු පලාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී තමන්ට මෙම ප්‍රහාරය එල්ල වූ බව ද ඔහු එම පුවත්පතට සඳහන් කර තිබුණා.

පලාගිය සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සමග වනජීවී නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!