ලෝක රග්බි පිටියේ දිදුලන තරුවක් අපේ..කැන්ගරු දේශයට ජය ගෙනා ඒකනායකගේ පළමු මාධ්‍ය සාකච්ඡාව මෙන්න (VIDEO)

එය සත් සාමාජික රග්බි ශූරතාවලියේ පිරිමි අවසන් පූර්ව තරගය විය. රග්බි ලොව බලකණු දෙකක් වන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව කරට කර සටනකය.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන විටත් දෙපිලම ලකුණු 12-12ක් ලෙස පසු වුණු හෙයින් ජයග්‍රාහකයන් තීරණයට අතිරේක කාලය ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඔස්ට්‍රේලියා පිල උත්සාහක දිනුමකට ආසන්න වෙමින් සිටින අතර පන්දුව පිරිනැමෙන්නේ තරුණ ක්‍රීඩකයකු අතටය.

ඒත් සමගම විදේශීය උරුවකින් වුව ඇසෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට හුරු පුරුදු නමකි. කණ්ඩායම ඔස්ට්‍රේලියාව වුවද එහි කියැවුණේ ‘ඒකනායක’ යන නාමයයි. සිය මග ඇහිරූ ප්‍රතිවාදීන් දෙදෙනකු ක්ෂණිකව උපක්‍රමයකින් රවටා පෙරට යන මේ තරුණ ක්‍රීඩකයා සීමා ඉර පසු කරන්නේ ඔස්ට්‍රේලියාව සොයමින් සිටි ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරමිනි. ඒ සමගින් ඔස්ට්‍රේලියා කණ්ඩායම අවසන් මහා තරගයට දොරටු විවරකර ගනිද්දී විස්තර විචාරකයා මොර දෙන්නේ “19 හැවිරිදි ඒකනායක එය ජයග්‍රහණය කළා” යනුවෙනි.

පර්ත් හිදී සත් සාමාජික රග්බි අනුශූරතාව දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමට, අවසන් පූර්ව තරගයේදී ඉහත කී ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කළ 19 හැවිරිදි ඔහු නමින් ඒඩ්න් ඒකනායක යි. ශ්‍රී ලංකාවට නෑකම් කියන ඒඩ්න් මෙරට මාධ්‍යයක් සමග කළ පළමු සාකච්ඡාව පහතින් නැරඹිය හැක.