ව්‍යවසායකයන් බිහි කිරීමට 9 වසරේ සිට පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදයක්

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එසේම නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් ඒ මහතා පැවසුවා.

ඒ අනුව සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසුසිසුවියන්ට මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බව කී අමාත්‍යවරයා 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බව පෙන්වා දුන්නා.

අ.පො.ස උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකරන පාසල් තුන්දහසක පළමු වටයේ දී ව්‍යවසායකත්ව කව පිහිටුවා මේ විෂය සම්බන්ධ දැනුම හා පුහුණුව ලබා දීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ,

”එසේ ම රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින පසුබිමක ඉදිරියේ දී රටට සතුටුදායක ආරංචි කීපයක් ම ජනතාවට අසන්නට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මේ වන විටත් ආනයනය තහනම් ව තිබූ බොහෝ භාණ්ඩ වර්ගවල තහනම ඉවත් කර ඇති බවත් නව ලොව විද්‍යා තාක්ෂණ දියුණුවත් සමග කිසි දු රටකට අද හුදකලා විය නොහැකි බවත් පැවසූ අමාත්‍යවරයා, රට තුළ නිෂ්පාදනය කර ගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරට තුළ නිපදවා ගැනීමට මෙන් ම මෙරට නිපදවන භාණ්ඩ විදේශ වෙළෙඳපොළට උචිත අන්දමින් ගුණාත්මක බවින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල වන සේ නිෂ්පාදනය කිරීමට අප ක්‍රියා කළ යුතු බවත් ඒ සඳහා පදනම සැකසෙන්නේ පර්යේෂණ හා නවනිපැයුම් මත බවත් කී අමාත්‍යවරයා ඒ සම්බන්ධ ව අපේ අධ්‍යාපන පද්ධතියෙන් ලැබෙන අනුග්‍රහය ද තවත් වැඩිකළ යුතුබවත් සඳහන් කළේ ය. වර්තමානයේ ද මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බොහෝ පර්යේෂණ බිහි වුවත් ඒවා ප්‍රායෝගික ව භාවිත කළ හැකි මට්ටමට වැඩි දියුණු වීම සිදු නොවන තරම් බවත් කී අමාත්‍යවරයා එම පර්යේෂණ හරහා නවෝත්පාදන බිහි කර දේශීය හා විදේශීය වෙළෙඳපළට සරිලන නව නිෂ්පාදන බිහි කිරීමේ අවකාශ උදා වන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය නවෝත්පාදන ක්ෂේත්‍රයට සහසම්බන්ධ කළ යුතු” බවයි.

වර්තමානයේ සාම්ප්‍රදායික ව සිදු වන්නේ නව පර්යේෂණයන් පිළිබඳ ව උත්සවයක් පවත්වා ත්‍යාගයක් හා සම්මානයක් ලබා දීම පමණක් බවත් ඉන් නොනැවතී ඉදිරියේ දී නව පරිවර්තනීය අධ්‍යාපන වෙනස්කම් ඔස්සේ එම පර්යේෂණ හරහා නව නිපැයුම් කරා ගමන් කිරීමේ මාවත සකස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ දැනුම, ආකල්ප සහ කුසලතාවයෙන් යුතු පුරවැසියෙකු බිහිකිරීම බවත් දැනුම මත පමණක් රැඳී නොසිට කුසලතා හා ආකල්ප වර්ධනයට පෙරපාසල් අධ්‍යාපනයේ සිට ම අවශ්‍ය අඩිතාලම සකස් කිරීම අවශ්‍ය බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

එසේම ඒ සඳහා යුනෙස්කෝ ආයතනයේ සහයෝගය ඇති ව ජාතික අධ්‍යාපන ආයතනය හා විද්වතුන් සමග එක් ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ක්‍රියාවලියේ ආරම්භක පියවරෙහි වැඩ අවසන්කර ඇති බවත් පැවසුවා.

මෙම වැඩසටහන සියලු ම පළාත් සමග ඒකාබද්ධ ව නුදුරේ දී ම පාසල් පද්ධතිය තුළ දියත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!