පොසොන් උත්සවවල ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් විශේෂ වැඩපිලිවෙලක්

මෙවර පැවැත්වෙන පොසොන් උත්සවය නිමිත්තෙන් සිදුකරන ආගමික හා සංස්කෘතික වැඩසටහන්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිලිවෙල සම්බන්ධ සාකච්ඡාවක් අද (18) උදෑසන පැවැත්වුණා.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි විහාරස්ථාන 12,050 ක් අතරින් විහාරස්ථාන 11,095 ක පොසොන් පොහොය දින වැඩසටහන් පැවැත්වෙන බවට වාර්තා කර ඇති අතර, එහිදී පොසොන් කලාප 322 ක්, පොසොන් තොරණ 296 ක්, දන්සැල් 4,557 ක් ඇතුළු දිවයින පුරා පොසොන් උත්සව 5929 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙන බවට පොලිස් ස්ථාන මගින් වාර්තා කර තිබෙනවා.

ඉන් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාත ⁣තුළ පිහිටි විහාරස්ථාන ආශ්‍රිතව සංවිධානය කරන ලද වැඩසටහන් බවට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශයන් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මු.පො.ප/ ස්ථානාධිපතිවරුන් විසින් ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පවත්වා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ යටතේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 19,062 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 370 ක්, ත්‍රිවිද හමුදා භටයින් 607 ක් සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 දෙනෙකුට අධික පිරිසක් ද මෙවර ආරක්ෂාව සදහා යෙදවීමට සුදානම් කර ඇති බව වාර්තා වනවා.

එසේම, පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන ලෙසටත්, දිවා/රාත්‍රි ජංගම සංචාර, යතුරු පැදි සංචාර මගින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් එහිදී පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවටයි වැඩිදුර වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!