ඩිජිටල් ශ්‍රී ලංකාවකට අමෙරිකාවෙන් තල්ලුවක්

අමෙරිකාවේ ඩිජිටල්කරණයේ ඉහළින් වැජඹෙන ව්‍යවසායකයන්, වෘත්තිකයන් ඇතුළු ලාංකිකයන් සමග එක්ව ලංකාවේ එම ක්ෂ්‍රේත්‍රය වඩාත් ශක්තිමත් කිරීමේ වැඩ සටහනක් පසුගිය දා වොෂින්ටනයේ දී පැවැත් වුණා.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් එය සංවිධානය කොට තිබූ අතර, රාජ්‍ය ඇමති කනක හේරත් මහතා ද ඊට එක් වුණා.

ඒ සඳහා ක්ෂ්‍රේත්‍රයට අදාළ වෘත්තිකයන්, ව්‍යවසායකයන් හා ලාංකිකයන් මෙන් ම ඇමෙරිකානුවන් 60ක පිරිසක් සහභාගි වූ අතර මෑතක දී ලංකාව මුහුණ දුන් අභියෝග ජයගැනීමේදී රාජ්‍ය ආයතන හා ආර්ථිකය ඩිජිටල්කරණය වූ අයුරු තානාපති සමරසිංහ මහතා පැහැදිලි කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවන ආර්ථික ප්‍රගතිය හා ඩිජිටල්කරණ නැඹුරුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් හා අමෙරිකාවෙන් ද සාධනීය ප්‍රතිචාර ලැබෙන බව‍යි එහි දී තානාපතිවරයා සඳහන් කර තිබුණේ.

මෙහි දී අදහස් පළ කළ රාජ්‍ය ඇමති කනක හේරත් මහතා ඩිජිටල්කරණය දියුණු කිරීමට රජය ගත් හා ගන්නා ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කරමින් පෞද්ගලික අංශය ඊට සම්බන්ධ කරගන්නා අයුරු අවධාරණය කර තිබූ අතර, ලංකාවේ මෙම ක්ෂ්‍රේත්‍රයට අදාළ කරුණු 06ක් ගෙනහැර දැක්වූ ඇමතිවරයා ඇමෙරිකාවේ හා එහි වෙසෙන ලාංකිකයන්ගේ සහාය ද ඉල්ලා තිබෙනවා.