පුද්ගලයෙකුගේ මාසික වියදම වැඩිවෙයි

නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසය තුළ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම සාමාන්‍යයෙන් රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ නමුත් එම අගය ඉකුත් දෙසැම්බර් මාසයේ දී රුපියල් 16,524ක් වූ අතර ජනවාරි මාසය වන විට එම අගය රුපියල් 490කින් වැඩි වී තිබෙනවා.

මේ අතර ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් එක් පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල, දිස්ත්‍රික් මට්ටමින් ගණන් බලා ඇති අතර වැඩි ම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව එම මුදල රුපියල් 18,350ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය දැක්ව්න්නේ 18,256ක් ලෙසයි.

රටේ අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 16,268ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර පුද්ගලයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක සිය මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී මාසිකව වැයවන මුදල ලෙස රුපියල් 68,056ක මුදලක් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කර තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ගණනය කිරීමේ දී, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අනෙකුත් සාධකවල මිල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!