ඡන්දේ හූරා කන්න වේදිකාවල දෙන බොරු පොරොන්දුවලට ජනපතිගෙන් පණිවුඩයක්

රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම සඳහා මැතිවරණ වේදිකාවල ලබාදෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප 24% කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමා අතීතයේදීද රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දුන් සියලු පොරොන්දු ඉටුකර ඇති බව කී ජනාධිපතිවරයා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් රාජ්‍ය සේවකයාගේ අනාගතය ද ගොඩනැඟීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනවා.

උග්‍ර ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් මත දරුණු අයවැය කළමනාකරණ අපහසුතා රැසකට රජය මුහුණ දුන් නමුත් එම දැඩි අසීරු අවස්ථාවන්වලදී පවා කිසිදු කප්පාදුවකින් හෝ ප්‍රමාදයකින් තොරව රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමටත් ජීවන වියදම් දීමනාව රුපියල් දස දහසකින් වැඩි කිරීමටත් ප්‍රමුඛස්ථානය ලබාදී කටයුතු කරන ලද්දේ රාජ්‍ය සේවකයින්ගේ කාර්යභාරය හා වටිනාකම මැනවින් අවබෝධ කරගත් බැවින් බවත් ජනාධිපතිවරයා සේවකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ පණිවිඩයේ සඳහන් වනවා.

රටේ ආර්ථික ස්ථාවරත්වය නිවැරදි ප්‍රතිපත්ති හා එම ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා පලපුරුද්ද කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබෙන බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.