කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

එම රිට් පෙත්සම ගොනු කර ඇත්තේ 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලීම හේතුවෙන්.

ඒ අනුව අදාළ ඉල්ලීම සලකාබැලීම සඳහා එම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන බවටයි.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 25 වනදා විභාගයට ගැනීමට තීන්දු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!