බේබද්දෙක් මගීන් සමග බස් රථයක් පැහැර ගනී

පෞද්ගලික මගී බස් රථයක ගමන් කළ රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල බස් රථය නතර කර ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ බීමතින් සිටි පුද්ගලයෙක් බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සිදුවීම නිසා බස් රථයේ රැඳී සිටි සෙසු මගීන් බියට පත් වී ඇති බව වාර්තා වනවා.

කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා (28) රාත්‍රී 9ට පමණ අදාළ හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර තිබෙනවා.

අදාළ හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා අතර ඇතිවූ ආරවුලක් ඇතිව ඇති බවත් වාර්තා වනවා.

එම අවස්ථාවේ මෙම සිදුවීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

බීමතින් සිටි එම පුද්ගලයා හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් තිබෙනවා.

මේ බව දුටු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ත්‍රී රෝද රථයක ගොඩවී එම බස් රථය පසුපස හඹා යන අවස්ථාවේ බීමතින් සිටි පුද්ගලයා ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!