ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අවිධිමත් ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෞද්ගලික සමාගම් 03 කින් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය .
එහිදි ඔහුගේ ඇප ඉල්ලීම සළකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංංග එස් බෝදරගම එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය .
මේ අතර දනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි එහිදී ඇප ඉල්ලීමක් සිදුකළේය. ඔහු පැවසුවේ මෙම සිද්ධියේදී අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මුල් බී වාර්තාව සහ අවසාන වැඩිදුර වාර්තාව අතර කරුණු එකිනෙකට පරස්පර බවය.
අල්ලස් මුදල ලබාදුන් බව කියන දිනේෂ් පෙරේරා නැමැත්තාගෙන් අල්ලස් කොමිසම ඉකුත් වසරේ ජුනි මස 24 වැනිදා ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා මෙම මුදල් තම සේවාදායකයාට ලබා දී තිබෙන්නේ චාමර සම්පත් දසනායකගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධනයට බව සඳහන් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය .
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පසු දිනම ඔහු විදේශගත වී තිබෙන බවත්, මෙම නඩුකරයට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් ය
කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර සුමතිපාල ලියනආරච්චිගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරමින් ඔහු සහ සැකකාර චාමර සම්පත් දසනායක එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.