ගුරු විදුහල්පතිවරු වැඩ වර්ජනයකට සැරසෙති .

2027 අයවැය මගින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට තම සංගමය විරෝධය පළ කරනා බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඒ අනුව ලබන 30 වනදා එක්දින වැඩ වර්ජනයක් කැඳවන බව එම සංගමය පවසයි .

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, 2027 අයවැය මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ගැටලු මුළුමනින්ම නොසලකා හැර ඇති බවය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඔහු අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මෙලෙස පැවසීය .

”2027 අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්‍රය නොසලකා හැරීම සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධයක් තියෙනවා. දැන් අපි අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් කතා කළා. දැන් එළඹෙන පළවෙනිදා තමයි විශේෂයෙන්ම අධ්‍යාපන විවාදය තියෙන්නේ. ඉතින් මේ අධ්‍යාපන විවාදය තුළවත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. එතකොට ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු මේ සියලු දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ.

මේ තත්ත්වය තුළ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හැටියට අපි තීරණය කරලා තියෙනවා එළඹෙන නොවැම්බර් 30 වැනිදා එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයකට යන්න. මේ සඳහා මේ රටේ 250,000කට ආසන්න ගුරුවරු ඒ වගේම පාසල් 10,110ක ගුරු විදුහල්පතිවරු සියලු දෙනා සම්බන්ධ වෙනවා කියන කාරණාව පැහැදිලිවම කියන්න ඕනේ.”