දිලිත්, විමල්, උදය ගේ නඩුව හෙට යළි විභාගයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු හය දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය මෙම පමිණිල්ල සලකා බැලුනි .

එහිදී පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙට (13) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය .

එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අධිකරණය හමුවේ මෙසේ පැවසීය

” ස්වාමිනි, 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ 10 (1) (අ) වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදි වීඩියෝ දර්ශන පදනම් කරගෙනයි මගේ සේවාදායකයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. එම වීඩියෝ දර්ශනවල අන්තර්ගත කරුණු වැරදි ලෙස අර්ථකථනය කරමින් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා තිබෙන්නේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ රඳවා ගැනීම සදහා නිකුත් කළ රැඳවුම් නියෝගය පිළිබඳවයි මගේ සේවාදායකයා කරුණු දක්වා තිබෙන්නේ. අධිකරණය ගැන ඔහු වචනයක් වත් සඳහන් කර නැහැ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවා අධිකරණ බලය අවභාවිතයට ලක්කර තිබෙනවා. ඒ තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කර තිබෙනවා.”