නීතිපතිටත් නඩුවක් වැටෙයි .

MV X-Press Pearl නෞකාවේ අනතුර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමට අසමත්වීම මගින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපති පාරින්ද රණසිංහ වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ වෙනුවෙන් නීතිඥ නිල්මාල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 07 වන දින ලියාපදිංචි තැපෑලෙන් මෙම ලිපිය යොමුකර ඇත. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මාස 15 කට පෙර ලබාදුන් නියෝගයන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර නොමැති බව එම ලිපියේ සඳහන් වේ.

2025 ජූලි 24 වන දින අංක SC/FR/168/2021 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සහ ඊට අදාළ අනෙකුත් පෙත්සම් සඳහා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත. අදාළ තීන්දුවේ 895 සහ 896 ඡේදයන්ට අනුව, සාගර පරිසර ආරක්ෂණ පනතේ 26(a) වගන්තිය යටතේ නෞකාවේ හිමිකරුවන්ට සහ මෙහෙයුම්කරුවන්ට එරෙහිව අපරාධ වගකීම් යටතේ නඩුවිභාග කිරීමේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකිරීමට නීතිපතිවරයා අපොහොසත් වී ඇති බව අධිකරණය තීන්දු කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා මහාධිකරණය හමුවේ සිවිල් නඩු පැවරීම වෙනුවට සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට ගත් තීරණය සාධාරණ නොවන, තර්කානුකූල නොවන සහ අත්තනෝමතික තීරණයක් බව ද, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

ලිපිය ලැබී දින 14 ක් ඇතුළත අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිඛිත පිළිතුරක් ලබාදෙන ලෙසත්, නඩු ගාස්තු වහාම පියවන ලෙසත් පරිසර යුක්ති කේන්ද්‍රය ඉල්ලා සිටියි. නියමිත කාලය ඇතුළත නීතිපතිවරයා ඊට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත්, පූර්ව දැනුම්දීමකින් තොරව අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය පියවර ගන්නා බව ද එන්තරවාසිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.